මහේන්ද්‍ර පෙරේරා මතට තිත තියලා .

කියන්න කනගාටුයි නවකයන්ගේ දක්ෂතා අයා‍ලේ යනවා

- මහේන්ද්‍ර පෙරේරා 

  • Mahenda
ආධුනික රංගන ශිල්පීන්ට පුහුණුව ලබාදීමට ඔබ රංගන පාසලක් ආරම්භ කළා. ඒකට මොකද වුණේ ?
ඒක තේරුමක් නැති දෙයක් කියලා හිතුණු නිසා මම එය නවත්වා දැමුවා. 
ඇයි ඒ රංගන පාසලෙන් ඵලක් නැහැ කියලා හිතුණේ ?
ඊට හේතුව තමයි රංගනය පුහුණුවන ආධුනිකයන් ඒ සම්බන්ධව නිසි ප්‍රගුණකිරීමක් නොකිරීම. වසරක දෙකක පමණ කාලයක් කැපවීමෙන් යුතුව, විශාල ගමනක් යන්න සූදානම් අයයි එවැන්නකට සහභාගි විය යුත්තේ. නමුත් ඵහැදෑරීමක් කළත් දැනට තිබෙන තත්ත්වය අනුව මෙගා ටෙලි නාට්‍යවලට දායකත්වය ලබා දුන්නට පස්සේ ඔවුන් ඒ කරපු හැදැරීමත් විනාශ වෙනවා. ඒ නිසා මම තීරණය කළා ඒ කාලය මටම කැප කරගෙන මගේ රංගන කටයුතුවලට වැඩි දායකත්වයක් ලබා දෙන්න.

මේ දවස්වල ඔබේ රංගන ජීවිතය ගතවෙන්නේ මොන විදියටද?
ප්‍රසන්න ජයකොඩිගේ අලුත්ම චිත්‍රපටය වන “38 ශ්‍රී” සිනමාපටයේ මම රඟපානවා. එහි මට හිමිවෙලා තිබෙන්නේ මැණික් පතලක කම්කරුවෙකුගේ චරිතයක්. ඒ චිත්‍රපටයේ වැඩකටයුතු ලබන 5 වැනිදා ආරම්භ වෙනවා. මෑතකදී රූගත කිරීම් සිදු කෙරුණු “ගිනි අවි සහ ගිනිකෙළි” ටෙලි නාට්‍යයටත් මම දායකත්වය ලබා දුන්නා. ඊට අමතරව ළඟදී ඕස්ට්‍රේලියාවේ නාට්‍යයක් සඳහා සහභාගි වුණා. ලාල් ප්‍රියදේවගේ අලුත් නිර්මාණයක් සඳහාත් මට ආරාධනා කර තිබෙනවා. ඒවගේ වැඩකටයුතු අතරතුරයි මගේ ජීවිතය මේ දිනවල ගෙවීයන්නේ.
ඔබ දශක කිහිපයක් පුරා වේදිකාව, සිනමාව යන ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර කිහිපයකටම දායකත්වය ලබා දී තිබෙන රංගන ශිල්පියෙක්. ඒ අතරින් ඔබ වඩාත් තෘප්තිමත් වන්නේ කුමන ක්ෂේත්‍රයටද ?
සිනමාවට 
ඒ ඇයි ?
සිනමාවේ චරිතයක් නිරූපණයේදී මට එය විශාල වශයෙන් රසවිඳින්න පුළුවන්. වේදිකාවටත් මගේ කැමැත්තක් තිබෙනවා. නමුත් මම වඩාත්ම කැමති සිනමාවටයි.
වර්තමානයේ බිහිවන ටෙලි නිර්මාණ ගැන ඔබේ අදහස ?
අතරින්පතර හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒත් මෙගා ටෙලි නාට්‍යනම් මම නරඹලත් නැහැ. ඒ වගේම ඒවා නරඹන්නෙත් නැහැ කියලයි මම හිතාගෙන ඉන්නේ. ඒවා නැරඹීමේ කිසිම තේරුමක් නැහැ. ප්‍රේක්ෂක රසවින්දනය විනාශවීමක් පමණයි ඒවායින් සිදුවන්නේ. මුළු අවුරුද්දම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු හතර පස් දෙනෙක් දවස් පහේම ටෙලි නාට්‍ය විකාශන කාලය බදාගෙන ඉන්නකොට, ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය මොට වෙනවා. ‍පොහොසත් ටෙලි නාට්‍ය කලාවක් අපේ රටේ පැවතුණු කාලයක් තිබුණා. නමුත් ඒ තත්ත්වය දැන් විනාශවෙලයි තියෙන්නේ.
විශාල මුදලක් ගෙවීමේ ‍පොරොන්දුව මත ඔබට මෙගා ටෙලි නාට්‍යයක් සඳහා රඟපෑමට ආරාධනාවක් ලැබුණොත් ? 
විශාල වශයෙන් මුදල් ගෙවීමේ ‍පොරොන්දුව මත මෙගා නිර්මාණ සඳහා ආරාධනා ඕනෑ තරම් මට ලැබිලා තිබෙනවා. නමුත් මම ඒ ආරාධනා සියල්ලම ප්‍රතික්ෂේප කළා. එවැනි දේකට ගෑවෙන්නවත් මම කැමති නැහැ. එවැනි නිර්මාණයකට දායකත්වය ලබාදීම පාපයක් විදියටයි මම දකින්නේ. 
කොහොම වුණත්, ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ දකින්න ලැබෙනවාට වඩා වර්ධනයක් වර්තමානයේ සිනමාවේ දැකගන්න පුළුවන් නේද ?
අපේ සිනමාවේ යම් වර්ධනයක් දැන් තිබෙනවා. ඉදිරියට ඒ තත්ත්වය තවත් හොඳ අතට හැරේවි. අපේ සිනමාව ඉදිරියට ගෙනියන්න පුළුවන් 
අධ්‍යක්ෂවරු අපට ඉන්නවා. චිත්‍රපට ප්‍රදර්ශනයේ යම් ගැටලු තිබුණත්, ඉදිරියේදී අපේ නිර්මාණකරුවන් උසස් නිර්මාණ බිහිකරාවි කියලා විශ්වාසයක් මා තුළ තිබෙනවා. 
නවක රංගන ශිල්පීන් ගැන ඔබේ අදහස ?
ඔවුන් ගැන කනගාටුවකුයි මට තිබෙන්නේ. ඔවුන්ගේ දක්ෂතා අයා‍ලේ යනවා. යමක් කළ හැකි පිරිසක් ඒ අතර සිටියත්, ඔවුනුත් හොඳ නිර්මාණ සහ දක්ෂ අධ්‍යක්ෂවරු නොලැබිම නිසා මෙගා ටෙලි නාට්‍යවල රංගනයෙහි යෙදිලා තමන්ගේ දක්ෂතා මොට කරගන්නවා. 
රංගනය සඳහා හැදෑරීමක් අවශ්‍යමද ?
ඔව්. රංගනය සඳහා කැපකිරීමක් සහ නිරන්තර සතත අභ්‍යාසයෙහි යෙදීම අත්‍යවශ්‍යයි. විෂයානුබද්ධ වන තරමටයි ඒ විෂයයෙහි වර්ධනයක් අත්කරගත හැකිවන්නේ. එහෙම නොකළොත් බිහිවන්නේ අයා‍ලේ යන මැටි මෝල්ලු ටිකක්. වෙනත් රටවල නම්, රංගනය විෂයක් වශයෙන් පවතිනවා. අපේ  රටේ විතරයි එහෙම නැත්තේ. ඒ නිසා තමයි ඕනම භූතයකුට ඒකට ඇතුළුවෙලා, ඕනෑම දෙයක් කරලා විනාශයක් කරලා යන්න පුළුවන් වෙලා තියෙන්නේ. 
ඔබේ සෞඛ්‍යයට අහිතකර නිසා දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය නවතා දමන්න කියලා වෛද්‍යවරු ඔබට උපදෙස් දී තිබුණා. ඔබ දැන් ඒ පුරුදුවලින් ඈත් වෙලාද ?
ඔව්. ඒදේවල් මම සම්පූර්ණයෙන්ම නවත්වලා දැමුවා. දැන් මම රංගනය කියන විෂය තුළ මගේ අනාගතය හැඩගස්වා ගන්න මගේ සම්පූර්ණ අවධානය යොමු කරලයි තියෙන්්නේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්