"වරද ඔප්පු කළොත් අලාභය ගෙවනවා" ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ සභාපති කියයි.


ගුවන්තොටුපොළේ විදුලිය විසන්ධි කරමින් කළ වැඩ වර්ජනයෙන් රුපියල් කෝටි 10ක පමණ අලාභයක් වූ බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත්, එවැනි අලාභයක් නොවූ බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත්,   අලාභය වූයේ කුමන උපකරණ හානියට පත්වීමෙන් දැයි ගුවන්තොටුපොළ සභාපති නිසි ලෙස පෙන්වා දෙන්නේ නම් එම මුදල ගෙවීම තම සංගමය ඉදිරිපත් වන බවත් කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ සභාපති එම් වර්ණසිරි බණ්ඩාර මුහන්දිරම් මහතා පැවසීය.

ඔහු එලෙස කීවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශයේ පිහිටි එම වෘත්තීය සිමිති කාර්යාලයයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.
මෙම වැඩවර්ජනය හදිසියේ සිදු කළ වැඩවර්ජනයක් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළත් සත්‍ය වශයෙන්ම වැඩ වර්ජනය කළේ මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවක් පවත්වා විසඳුම් නොලත් නිසා යැයි ද මුහන්දිරම් මහතා කීවේය.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය වාර්තා කිරීමට ආ මාධ්‍යවේදීන්ට වූ හිරිහැර ගැන සමාව ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව ඇමතූ මුහන්දිරම් මහතා මෙසේ ද කීවේය.
‘ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ලෙස අපි ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා. නමුත් ඒ එකකින්වත් අපිට හරි විසදුමක් ලැබුණේ නැහැ. අපේ මව් ශාඛාවටත් අපි මේ ගැන දැනුම් දුන්නා.
ගුවන්තොටුපොළේ සහ සමාගමේ සේවකයන් 3576ක් පමණ ඉන්නවා. ඉන් සේවකයන් 3100ක් පමණ අපේ සාමාජිකයන්. අපේ පඩි වැඩි වෙන්නේ වසර තුනකට වරක්. රුපියල් දස දහසක දීමනාවක් දෙන ලෙසත්, සේවක පුරප්පාඩු පිරවීමේ දී සියයට දහයක් පිය පුතු පදනමට ලබා දෙන ලෙසත්, සේවකයන්ට දුන් ආපදා ණය ලබා දෙන ලෙසත් ආදී ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් තමයි අපි මේ අරගලය කළේ.
සේවක ණය ලබා දීම ගත්තම මුලින් දුන්නේ රුපියල් ලක්ෂයයි. එය ලක්ෂ දෙකක් කළා. කෙටි කාලෙකින් මග නැවතුණා. දැනට 350ක් පමණ ඉන්නවා අපදා ණය ගන්න පෝලිමේ.  
අනිත් එක තමයි ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ ‘පොඩි ප්‍රභාකරන්‘ කියා හදුන්වන පුද්ගලයෙක් ඉන්නවා. 2011 මාර්තු හත් වැනි දා සිට 2014 ජූලි 28 වැනි දා දක්වා ඔහු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුණා. මානව හිමිකම් පැමිණිලි පවා ගියා. නමුත් ඔහු සම්බන්ධයෙන් විනය පියවර ගත්තේ නෑ. අන්න ඒ පුද්ගලයා ඉවත් කරන ලෙසත් අපි ඉල්ලුවා.
පසුගිය ජූලි 07 වැනි දා සිට ඔක්තෝබර 23 වැනි දා දක්වා මේ සමාගමේ සභාපති, අමාත්‍යංශ ලේකම්, ඇමැතිතුමා අදී පිරිසක් සමග විටින් විට සාකච්ඡා අටක් පමණ පැවැත්වුවා. නමුත් අපට විසදුම් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කළේය. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ තීරණයට ආවේ.
මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒ කිසිම කෙනෙකු හදිසියකට දුරකතනයෙන් සම්බන්ධ කර ගන්න බැහැ. ඇමැතිතුමාව සම්බන්ධ කර ගත්තත් අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනකු සම්බන්ධ කර ගන්න අමාරුයි. විශාල වැටුපක් දීලා, හොද වාහන දීලා අධ්‍යක්ෂවරුන් ගණනාවක් හිටියත් අපි දන්නෙත් තුන්දෙනෙක් විතුරයි.
මෙහෙම තත්ත්වයක් උඩ තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගය ගත්තේ. අපි විදුලිය විසන්දි කරලා ක්‍රියාත්මක කළේ එකක් විතරයි. ගුවන්තොටුපොළ අඩපන කරන තවත් ක්‍රියාමාර්ග 17ක් පමණ අපි දන්නවා.  
අපි මේ ජනාධිපතිතුමා දිනවන්න මේ ආන්ඩුවට වැඩ කරපු මිනිස්සු. ජනාධිපතිගේ උපදෙස් පරිදි අපේ ඇමැතිවරයා සහ සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය ඇමැතිවරයා අපට ඉල්ලීම් කිහිපයක් ලබා දුන්නා. නමුත් තවත් ඉල්ලීම් තිබෙනවා. ඒ ඉල්ලීම් ලබා දෙන තෙක් අපි සටන් කරනවා. අපි කාටවත් රිද්දන්න නොවෙයි මේ ක්‍රියිමාර්ගය ගත්තේ.‘
මෙහෙදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුහන්දිරම් මහතා මෙසේ ද කීවේය.
ප්‍රශ්නය - මාධ්‍ය පෙන්නපු විදියට මේ වෘත්තීය ක්‍රියාමාර්ගය එකපාරට ගත් එකක් නොවන බව ඔබ කිව්වා. නමුත් මෙතෙක් කල් පැවැත්වූ සාකච්ඡා ගැන මාධ්‍ය දැනුම්වත් කළේ නැතුව නේද මාධ්‍යයට චෝදනා කරන්නේ?
පිළිතුර - අපි හැදුවේ අපේ ප්‍රශ්නය ඇතුළෙම විසඳගන්නයි. ඒකයි අපි මාධ්‍යයට ඒ ගැන නුදුන්නේ.
ප්‍රශ්නය - වැඩවර්ජනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඔබ ඇතුළු පිරිස හිරි හැර කළා නේද?
පිළිතුර - ඇත්තටම ඒ වෙලාවේ තිබුණු පීඩනයත් එක්ක තමයි එහෙම දෙයක් වුණා නම් වුණේ. වැරදි දේවල් කියවුණා නම් කියවුණේ. ඒ සම්බන්ධයෙන් අපි සමාව අයදිනවා. වැරදි වීම මනුශ්‍ය ගතියක්. සමාව දීම දේව ගතියක්.
ප්‍රශ්නය - මේ වැඩවර්ජනය නිසා කෝටි 10ක පමණ දේපලවලට හානි වුණා නේද?
පිළිතුර - වගකීමෙන් කියන්න පුළුවන් එවැන්නක් වෙලා නැහැ. මෙන්න මේ උපකරණවලට මේ විදියට හානියක් වුණාය කියා සභාපති පෙන්නනවා නම් අපි ලෑස්තියි ඒ අලාභය ගෙවන්න. අපි විදුලිය විසන්ධි කළේ අදාල අංශවලට පැය භාගයකට පෙර දැනුම් දීලා. ගෙවල්වල ලයිට් ගිහින් එද්දි ගෙදර උපකරණවලට හානි වෙනවද නැහැනේ. අනික ගුවන් තොටුපොළ විදුලිය විසන්ධි වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. සාමාන්‍යයෙන් සතියට දවසක් අලුත්වැඩියා සඳහා විදුලිය විසන්ධි කරනවා. ආරක්ෂක හේතු මත ඒ ගැන වැඩිදුරටත් කියන්නේ නෑ. කොටි ගහනකොටත් විටින් විට විදුලිය විසන්ධි කළා.
ප්‍රශ්නය - ගුවන්තොටුපොළේ ඇති බදු නැතිව භාණ්ඩ මිල දී ගන්නා කඩයක පරිපතයකට වූ හානිය ඉල්ලා ඔවුන් සභාපතිට ලිපියක් යවා තිබෙනවා නේද?
පිළිතුර - සභාපතිට යව්වා නම් කරන්න දෙයක් නෑ. අපට එව්වා නම් අපි අපේ පිරිස් දමා ඒ ගැන සොයා බලා මොනවා හෝ වෙලා තියෙනවා නම් වන්දි ගෙවනවා.
ප්‍රශ්නය - වෘත්තීය ක්‍රියාමාර්ග දැන් ඉවරද?
පිළිතුර - නෑ. අපිට ඉතිරි ඉල්ලීම් ලැබිය යුතුයි. අපි ඒ ගැන ඉල්ලීමක් කර තියෙනවා. ඊට ලබා දී තිබුණු කාලය අවසන්. ඒ ඉල්ලීම් ලැබෙන තුරු  අපි සටන් කරනවා. මාධ්‍ය  සහයෝගයත් අපට අවශ්‍යයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්