මෙහෙණින් දොළොස් හැවිරිදි දැරියකගේ මුහුණ පුච්චලා


ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ආරාමයක සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙහෙණින් වහන්සේ නමක් දොළොස් හැවිරිදි දැරියකගේ මුහුණ ගිනි පෙනෙල්ලකින් පුච්චා තිබේ. ඉකුත් (30) දා, පෙරවරු 10.30 ට පමණ දොළොස් හැවිරිදි දැරිය ආරාමයේ කුස්සිය අතුගෑවේ නැතැයි පවසමින් මෙහෙණින් වහන්සේ ඇයට බැන වැදී ඇතැයි පැවසේ. අනතුරුව දෙදෙනා අතරේ බහින්බස් වීමක් සිදු වී ඇතැයි කියති. එම අවස්ථාවේ ලිපේ තිබූ ගිනිපෙනෙල්ලක් ගෙන දැරියගේ මුහුණේ කිහිප තැනක්ම පුච්චා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පරිවාස හා ළමාරක්ෂණ අධිකාරියට දැන්වීමෙන් පසු ගිරාඳුරුකෝට්ටේ පොලිසිය ආරාමයට ගොස් දැරිය රෝහල් ගත කර ඇත. අත්අඩංගුවට ගත් මෙහෙ‍ණින් වහන්සේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 3000/- ක මුදල් හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. මෙම දැරිය ඉතා කුඩා කාලයේ ඇයගේ මව විසින් මෙම ආරාමයට භාර දී ඇත්තේ ඇය නිසි කල වයසට පැමිණි පසු මහණ කරවා ගන්නා ලෙස කියමිනි. අනතුරුව එම මව වෙනත් පුරුෂයෙක් සමග වෙනත් පළාතක පදිංචියට ගොස් තිබෙන අතර දැරියගේ පියාද වෙනත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය කියයි. ‍දැරියගේ දෙමව්පියන් සොයා ගන්න‍ට පොලිසිය විමර්ෂණ අරඹා ඇත. දෙමව්පියන් සොයා ගන්නට නොහැකි වුවහොත් දැරිය උසාවිය මගින් පරිවාස භාරයට පත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
රෝහල්ගත කර සිටින දැරියගේ තත්ත්වය එතරම් බරපතල නැතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගිරාදුරු‍කෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

එස්.එස්.ගුණරත්න - ගිරාදුරුකෝට්ටේ

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්