ජාතික ගීය වෙනස් කිරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෙළ උරුමය අවධාරණය කරයි.



ජාතික ගීය වෙනස් කිරීම සඳහා ආණ්ඩුවේ ඇමැතිවරයකු දරන උත්සාහය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි. එය වෙනස් කිරීමට යමෙක් යෝජනා කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවද හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කර සිටී.



ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළමුවැනි පරිච්ඡේදයේ අංක 7 ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ 'ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය' යනුවෙනි. එහි පදමාලාව සහ සංගීතය ව්‍යවස්ථාවේ තුන්වැනි උපලේඛනයට ඇතුළත් කොට තිබේ. ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පැවැසුවේ මෙලෙස ජාතික ගීය වෙනස් කිරීමට වාසුදේව නානායක්කාර ඇමැතිවරයා කරන යෝජනාව, රජය අපහසුතාවට පත්කරමින් බෙදුම්වාදී අන්තර්ජාතික බලවේගවල වුවමනාවන් ඉටුකිරීමක් බවයි.


ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත චෝදනා පත්‍රයට තවත් චෝදනාවක් ඇතුළත් කිරීම වාසුදේව ඇමැතිවරයාගේ අරමුණ වී ඇතැයිද සෝභිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ. ජාතික ගීය මේ රටේ රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංඝනීය කොටසක් වන බව පවසන ඒ හිමියන්, වාසුදේව නානායක්කාර මහතාගේ අභිමතය පරිදි එය වෙනස් කිරීමට, සම්මිශ්‍රණය කිරීමට රැප් කිරීමට පුළුවන්කමක් නොමැති බවද පැවැසූහ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ජාතික ගීය රටේ ප්‍රධාන උත්සව ඇතුළු රාජ්‍ය උත්සවවලදී ගායනා කළ යුතු බවත්, එය වෙනස් කරන්න පියවර ගන්නවා නම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ මඟින් උල්ලංඝනය කිරීමක් වන බවද ඒ හිමියෝ පෙන්වා දෙති.


වාසුදේව නානායක්කාර මහතා විසින් පෙබරවාරි 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් උත්සවයේදී ගායනා කිරීමට ජාතික ගීය වෙනස් කිරීමට කඩිමුඩියේ කටයුතු කිරීම වැරැදිසහගත ක්‍රියාවක් බවට පවසන උන්වහන්සේ රටේ සමාජ කණ්ඩායම් එය පුළුල් ලෙස සංවාදයට ගතයුතු කරුණක් වන බවද සඳහන් කළහ.


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළමුවැනි පරිච්ඡේදයේ අංක 7 ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ 'ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය' යනුවෙනි. එහි පදමාලාව සහ සංගීතය ව්‍යවස්ථාවේ තුන්වැනි උපලේඛනයට ඇතුළත් කොට තිබේ. ජාතික ගීය වෙනස් කරමින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවෙන් විකෘති කිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත්, මේ මඟින් සිදුවන්නේ රට අනවශ්‍ය බරපතළ ප්‍රශ්නයකට යොමුවීමක් බවද ඒ හිමියෝ වැඩිදුරටත් පැවැසූහ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වාසුදේව නානායක්කාර ඇමැතිවරයා සඳහන් කළේ තමන් යෝජනා කරන්නේ ජාතික ගීය ද්වි භාෂාවෙන් ගායනා කළ යුතුය යන්න පමණක් බවයි.


ඒ සඳහා ව්‍යවස්ථාවේ යම් වෙනසක් සිදුකළ යුතු යැයි තමන්ද පිළිගන්නා බව පැවැසූ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ හෙළ උරුමය වැනි ජාතිවාදී බලවේගවල බලපෑම් මෙහිදී වැදගත් නොවන බවයි. ජාතික සමඟිය ඇතිවුවහොත් හෙළ උරුමයට පැවැත්මක් නොමැති නිසා මෙලෙස ජාතික සමඟිය ඇති කරන යෝජනාවලට ඔවුන් විරුද්ධ වන බවද ඇමැතිවරයා සඳහන් කෙළේය. එසේම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තියෙහි ජාතික ගීය, එහි පද මාලාව සහ සංගීතය සම්බන්ධයෙන් සඳහන් කර ඇති බවයි.


එසේ තිබියදී වාසුදේව නානායක්කාර ඇමැතිවරයා මෙලෙස ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස් දමිළ පද හා සිංහල පද සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට කළ යෝජනාව අසා තම පෙරමුණ විමතියට පත් වූ බවද එම නිවේදනයේ සඳහන්ය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්